Wednesday, May 20, 2015

සිනමාවට තියෙන ආදරේ නිසා සියලු දේ විඳ දරා ගන්නවා සුනිල් අරුණ වීරසිරි

ඔහු සිංහල සිනමාවට දායකත්වය දැක්වූයේ නිෂ්පාදකවරයකු වශයෙනි. තම ව්‍යාපාර ඔස්සේ හරි හම්බ කරගත් දේ නොමසුරුව සිනමාව වෙනුවෙන් වැය කරන්නට තරම් ඔහු ඇප කැප වූයේ කලාව කෙරෙහි ඔහු සිත්හි තිබෙන්නා වූ අසීමිත ළෙන්ගතුකම නිසාවෙනි. ‘සැපට දුකට සනී’, ‘ක්ලීන් අවුට්’ වැනි චිත්‍රපට නිෂ්පාදනය කරමින් සිනමාවට ප්‍රවිෂ්ට වූ ඔහු සුනිල් අරුණ වීරසිරි ය.


නිෂ්පාදනයෙන් පමණක් කලාවේ නොරැඳි ඔහු කලකදී චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස ද දොරට වැඩීය. ඒ ‘ටිකිරි සුවඳ’ චිත්‍රපටයෙනි. ඉන්පසු ඔහු සිය දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වූ ‘වීර්යයා’ නිර්මාණය කළේය. සිය ව්‍යාපාරික දිවියේ කාර්යබහුලත්වය ද සමඟ ‘වීර්යයා’ ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔහු සමඟ කළ සංවාදයකි මේ.


. ඔබ සිනමාවට ප්‍රවිෂ්ට වෙන්නේ ව්‍යාපාරික ලෝකයෙන්. ඇයි සිනමාවට එන්න හිතුණේ?


පුංචි කාලේ ඉඳලම කලාවට මගේ ලොකු කැමැත්තක් තිබුණා. ජීවන වෘත්තිය විදියට ව්‍යාපාර තෝරගත්තට යටි හිතේ නිරන්තරව කලාත්මක හැඟීම්වලට ඉඩ තිබුණා. ව්‍යාපාර ලෝකයෙන් කිසියම් ස්ථාවරත්වයක් ලබාගත්තට පස්සේ මගේ හිතේ තිබුණු කලාවට සමීප වීමේ අවස්ථාව මම උදාකර ගත්තා.


. ඔබේ ව්‍යාපාර ‍සම්බන්ධ වෙන්නේ ස්වර්ණභරණ ක්ෂේත්‍රයත් සමඟ. ඔබ මේකට යොමු වුණේ කොහොම ද?


ස්වර්ණභරණ ක්ෂේත්‍රයත් එක්තරා ආකාරයකට කලාත්මක භාවයකින් කළ යුතු එකක්. මුල් කාලේ ඉඳලම මගේ ඒ පැත්තට කැමැත්තක් තිබුණා. අනෙක් පැත්තෙන් මගේ පරම්පරාවෙනුත් ස්වර්ණභරණ සඳහා සම්බන්ධතාවයක් තිබුණා. ඒ නිසා ඒක ආරම්භ කරලා කාටවත් ණය නැතුව සාර්ථකව කරගෙන යන්න පුළුවන් වුණා. කොළඹට ඇවිත් තමයි මේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින සාර්ථක කරගන්න පුළුවන් වුණේ. ජුවලරි කලාව කියන්නේ දැවැන්ත කලාවක්. එය හරියාකාරව සියුම් ලෙස නිරත වන එක විශාල තෘප්තියක් ගෙන දෙන දෙයක්. ඒ ව්‍යාපාරයත් සමඟ තමයි මම චිත්‍රපට නිෂ්පාදනය සඳහා පසු කලෙක යොමු වුණේ.


. ඔබ චිත්‍රපට නිෂ්පාදනයට යොමු වුණේ හොඳට හිතලා බලල ද?


ඔව්. මම හුඟාක් චිත්‍රපට ගැන අධ්‍යයනය කළා. අනෙක් පැත්තෙන් පුංචි කාලේ ඉඳලම මම හොඳ චිත්‍රපට රසිකයෙක්. ඒ නිසා මේ කලාවට මගේ ලොකු ළැදියාවක් තිබුණා. 2000 වසරේ මුල තමයි මුලින්ම මම චිත්‍රපට නිෂ්පාදනයට එන්නේ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා සමඟ තමයි චිත්‍රපට කරන්න එක්වෙන්නෙ. ඒ යුගයේ රෝයි කරපු බොහෝ චිත්‍රපට සාර්ථක වුණා. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත්තා. ඒ අනුව මම ඔහුත් එක්ක එකතුවෙලා ‘සැපට දුකට සනී’, ‘ක්ලීන් අවුට්’ වැනි චිත්‍රපට නිෂ්පාදනය කළා. මේ චිත්‍රපට මහා විශාල දැවැන්ත නිර්මාණ නොවුණට ප්‍රේක්ෂකයෝ රස වින්දා.
. ඉන්පසු ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙනවා?


ඔව්. චිත්‍රපට නිෂ්පාදනයට එකතු වුණාම චිත්‍රපට ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් රැසක් මට ලබාගන්න පුළුවන් වුණා. ඒ අතරම මේ පිළිබඳ ස්වයං අධ්‍යයනයක නිරත වෙන්නත් මට හැකියාව ලැබුණා. ඒ කාරණත් සමඟ තමයි මම චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වෙන්නේ. ‘ටිකිරි සුවඳ’ අධ්‍යක්ෂණය කළා. ප්‍රේක්ෂකයෝ බොහොම ආදරෙන් වැලඳගත්තා. ඒ චිත්‍රපටය සෝමා එදිරිසිංහ මහත්මිය මගෙන් සල්ලි දීලා ගත්තා. චිත්‍රපටයේ ලාභය මට එතැනින්ම ලැබුණා. ඊට වසරකට විතර පස්සේ තමයි දෙවැනි චිත්‍රපටය ‘වීර්යයා’ කළේ.




. ඔබ ‘වීර්යයා’ කරල වසර තුනකටත් වැඩියි නේද?


ඔව්. ඒක තමයි අතිශය කනගාටුදායකම දේ. චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් නැති අභාග්‍යයට මටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. පසුගිය කාලය ඇතුළත චිත්‍රපට සඳහා වගකිවයුතු රජයේ එකම ආයතනය වන චිත්‍රපට සංස්ථාවට ක්‍රමවත් වැඩපිළිවෙළක් තිබුණේ නෑ. ඒ නිසා අපේ චිත්‍රපට ඔහේ කරපු තැන්වලම තිබුණා. විශේෂයෙන්ම මෙතනදි මම දකින සුවිශේෂ කාරණාව වෙන්නේ චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ඍජු ප්‍රතිපත්තියකින් ක්‍රියා නොකිරීම. බොහෝ අවස්ථාවල මේ සඳහා දේශපාලනය ගාවා ගැනීම. මේ තත්ත්වය මට විතරක් නොවෙයි තවත් බොහෝ සිනමා ශිල්පීන්ට අත්වූ ඉරණමක්.


. ඔබ අධෛර්යයට පත්වෙලා ද?








අවිධිමත් ක්‍රම මඟින් සමහරුන් තමන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කරගන්නවා. ඇත්තටම සාධාරණ පිළිවෙළට යන ශිල්පීන් මේ නිසා අධෛර්ය වෙන එක අහන්න දෙයක් ද? මේක එක එක පුද්ගලයාගේ තිබෙන පෘථග්ජනකම. ඒකට ඒ අයට දොස් කියලා වැඩකුත් නෑ. නමුත් ඒ වරද තියෙන්නේ සංස්ථාවේ. ඔවුන්ට පුළුවන් කාටත් සාධාරණ ප්‍රතිපත්තියක් හදන්න.








. මේ යොදවපු මුදල් ව්‍යාපාරවල යෙදෙව්වනම් හොඳයි කියලා දැන් හිතෙනව ද?


නෑ. එහෙම හිතෙන්නේ නෑ. ඒකට හේතුව ව්‍යාපාරවලින් ලැබෙන තෘප්තියට වඩා සිනමාවෙන් ලැබෙන තෘප්තිය වෙනස් නිසා. මේ තෘප්තිය වෙන තැනකින් ගන්න බෑ. සිනමාවට තිබෙන අසීමිත ආදරය, කැමැත්ත නිසා මෙතැන ඉන්නවා සියලු දේ විඳ දරාගෙන, අර කතාවට කියනවනේ ‘උණ’ තියනවා කියලා. ඒ වගේ තමයි. සංස්ථාව මේ ප්‍රශ්න විසඳලා ක්‍රමවත් වැඩපිළිවෙළක් හැදුවොත් ඒකෙන් සිනමා කර්මාන්තය රැකගන්න පුළුවන් වේවි.








. ‘වීර්යයා’ තිරගත වෙන්නේ කවදා ද?


මේ අවුරුද්දේ ඉදිරි මාස කිහිපය ඇතුළත තිරගත කළ හැකිවේවි කියලා විශ්වාස කරනවා.








. ව්‍යාපාර කටයුතුයි කලාවයි දෙක පැටලෙන්නේ නැත්ද?
නෑ. මේ දෙකම ක්‍රමවත්ව කරගෙන යන්න උත්සාහ කරනවා. මේ දිනවල මගේ අලුත්ම ව්‍යාපාර කටයුත්ත වෙනුවෙන් වෙහෙස වෙනවා.




. ඒ මොන වගේ ව්‍යාපාරයක් ද?
ඒක මගේ ස්වර්ණභරණ ව්‍යාපාරය හා සම්බන්ධ එකක්. කොළඹ Gold Centre නමින් නම් කර ඇති සුපිරි වෙළෙඳ සංකීර්ණයේ ජුවලරි ෂොප් එකක් පසුගියදා විවෘත කළා. කැරට් 22 රත්තරන්වලින් ප්‍රමිතියෙන් යුතු ජුවලරි නිෂ්පාදනය කරනවා.


(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)

Content.ad - Widget 4

Content.ad - Widget 6