Wednesday, May 20, 2015

මංගල සාදයේ නොගෙවූ මනාලිය අත්අඩංගුවට!

මංගල උත්සවයක්‌ සඳහා පානදුර වලාන ප්‍රදේශයේ උත්සව ශාලාවකින් සේවාවන් ලබා ගෙන ඒ සඳහා ගෙවීමට පොරොන්දු වූ රුපියල් හාරලක්‍ෂ තිස්‌හතරදහස්‌ පන්සියයක මුදලක්‌ (4,34,500.00) ගෙවීම පැහැර හැර වංචා කිරීම හේතුවෙන් පානදුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මනාලිය මැයි 05 දා පානදුර අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මංගල උත්සවය සඳහා ඇනවුම් බාරදී රුපියල් විසි දහසක අත්තිකාරම් මුදලක්‌ පමණක්‌ ගෙවා ඉතිරි මුදල් නොගෙවා සැඟව සිටි මනාලියගේ සැමියා සහ මාමණ්‌ඩිය ද එදින අධිකරණයට භාර විය.

විත්තිකරුවන් තිදෙනාට දැඩි ලෙස අවවාද කළ පානදුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා රුපියල් ලක්‍ෂ දෙක බැගින් ශරීර ඇප හයක්‌ නියම කර ගෙවීමට පොරොන්දු වූ මුදලෙන් අඩක්‌ උත්සව ශාලා අයිතිකරුට එදිනම ගෙවන ලෙස ද නියම කළේය.

ඇප මත මුදා හැරුණේ පානදුර වෝල්ටර් සල්ගාදු මාවතේ පදිංචි ජී. අචිනි චතුරිකා ප්‍රනාන්දු (බිරිඳ) පානදුර කෙසෙල්වත්තේ පදිංචි සිංහාර සමීර සුමින්ද සිල්වා (සැමියා) සහ පානදුර කෙසෙල්වත්තේ පදිංචි සිංහාර ටයිටස්‌ සිල්වා (සැමියාගේ පියා) යන තිදෙනාය.

2015 පෙබරවාරි 06 දා වලාන ප්‍රදේශයේ උත්සව ශාලාවක අමුත්තන් 225 කට කෑම බීම සංග්‍රහ ඇනවුම් කළ බවත්, මංගල උත්සවයේ උත්සව කටයුතු ද සමඟ ගෙවීමට පොරොන්දු වූ මුදල මාස තුනක්‌ යන තුරු ද නොගෙවීම නිසා උත්සව ශාලා හිමිකරු වන ඉලේපෙරුමගේ ප්‍රියන්ත යන අය පානදුර පොලිසිය වෙත පැමිණිලි කිරීම අනුව විමර්ශන සිදුකළ බව පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

සිද්ධිය පිළිබඳ නැවත විමසීම මැයි 11 දා තෙක්‌ කල්තබන බවත් එදිනට ඉතිරි ගෙවීම් සම්බන්ධව තීරණ ගන්නා බවත් මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

පානදුර පොලිස්‌ සුළු පැමිණිලි අංශයේ පො.සැරයන් 41080 කරුණාරත්න මහතා පැමිණිල්ල ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු දැක්‌වීය.

පානදුර - විජිතා ලියනගේ - දිවයින පුවත්පත
-

Content.ad - Widget 4

Content.ad - Widget 6